Tuesday, December 3, 2013

ගමේ ජිවිතේ.....


        ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න අතරේ කියා ගන්න බැරි තරමේ නිදිමතක් ආවාම මට හිතුණේ මාස ගණනාවක් තිස්සේ නොසළකා හැරිය මගේම කියලා බ්ලොග් එකකුත් තිබුණා නේද කියලා. ඔන්න ඉතින් මේ පැත්තට ගොඩ වුණේ ඒ නිසයි. ඒත් ඉතින් මොනවා ලියන්නද?

       හිතුණා පුංචි කාලේ විස්තර ටිකක් ලියන්න.

       කවුරුත් කියන ලස්සන තාලේ ගමක් අපට තිබුණා.

මේක ගත්තේ නම් ගූගල් දෙයියන්ගෙන්.


        
      ඉතින් මේ වගේ ලස්සන ගමක ගෙවුණ කුඩා කාලයේ ඒ ගැන ලස්සන චිත්‍රයක් තිබුණේ නැහැ අපේ හිත්  වල නම්. මොකද ඔය හැමදේටම වැඩිය අපට දැනුණේ ඒ තුල තිබුණ අපහසුව.වාහනයක් නැත්නම් ගෙදර එන්න විදියක් නෑ. ටවුන් එකට එන්න දුරයි.. ඔය වගේ දේවල්.ඒ කාලේ අපි පුංචි අය. මට වයස අවුරුදු 10ක් වෙනතුරු තමයි අපි ගමේ හිටියේ.
   දැනට වුනත් ගමේ ගිහින් එනවා කියන අදහසින් ගියොත් මිස යැවෙන්නේ නැහැ.දැන් කොහොමත් මේ දුරු රටවල් වලට ආවාට පස්සේ ලැබෙන කෙටි කාලය මදි දෙපැත්තේ ගෙවල් දෙකේ ගෙවලා දාන්නත්.


      ඒත් ඒ ගෙවපු කාලේ සුන්දරයි කියලා හිතෙන්නේ දැන් ඉන්න ළමයි ගෙවන ජීවිත දැක්කාම.අපි පුංචි කාලේදී අපි ළඟ පුංචි අම්මලා දෙන්නෙක් හිටියා.මාමාලා දෙන්නෙක් හිටියා. වැඩි දුරක නොවුණ දුරින් තාත්තාගේ නෑ පරපුර හිටියා.ඔය කාලේදී පුංචිලා, මාමලා,නැන්දලා ... බොහොමයක් අය විවාහ වෙලා හිටියේ නැති නිසාම එයාලා අපි එක්කම හිටියා.එක පුංචි අම්මා කෙනෙක් එයාගේ ආසාවට ඇඳුම් මහා මහා අපට අන්දවලා හැඩ බලමින් සතුටු වුණා. අදටත් එයා ළඟ එයාගේ ආසාවට ගත්ත ඔය වගේ ෆොටෝස් තියනවා.ඒ වගේම "මගේ එකීට ඔය විධියට එක එක මෝස්තරේ ඇඳුම් මහලා අන්දවන්න මට වෙලාවක් නැති වුනා  නේ" කියලා කියනවා. 

        මට සම වයසේ තව  සහෝදරියක් හිටියා ලොකු අම්මාගේ දුව නිමාලි.මට දෑවුරුද්දක් බාල මගේ නංගි සහ දෑවුරුද්දක් වැඩිමහල් සහෝදරයා. ඒත් ලොකු අම්මාගේ පුතා. නිවාඩු කාලයක් ආවාම අපි හතර දෙනා ඒ සම්පුර්ණ කාලයම හිටියේ එක තැනක. ඒ බොහෝ විට ගමේ. මොකද ලොකු අම්මලාගේ ගෙදර ඒ හැටි ඉඩක් තිබුණ තැනක් නෙමෙයි.අනික දුරත් වැඩි.එයාලා මෝටර් සයිකලෙන් එන්නේ. අපට ඉතින් එහෙමටවත් වාහනයක් තිබුණේ නැහැ. අපේ තාත්තාගේ ෆුට් සයිකලේ ( හුඟක් අය කියන විදියට පුස් බයිසිකලේ) විතරයි. ඒකත් තාත්තා වැඩට යනවා නේ.

        රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් විධියට වැඩ කළ තාත්තාට අපට වගේ ස්කොල නිවාඩු කාලයක් නැහැ නේ.ඉතින් බොහොමයක් ගමන් බිමන් අපෙන් ඈත් වුණා.අනික ඒ තරම් ගමන් බිමන් යන්න කාලයක් තාත්තා අපි අතරේ හිටියේ නැහැ.එයාට අපිවත් , අපිට එයාවත්  සදහටම අහිමි වුණා .


          ඒත් ඒ කෙටි කාලයේ මැකී නොමැකී තියන මතක සටහන් කිහිපයක් තවමත් තියනවා මගේ මතක ගබඩාවේ.අපේ තාත්තා ළඟ තිබුණා ප්‍රථමාධාර පෙට්ටියක්.ඔය පුළුන්, සර්ජිකල් ස්ප්‍රීට්, ගෝස්,බෙටඩින් වගේ පොඩි පොඩි තුවාල වලට දාන ක්‍රීම් වගේ දේවල්.අයියා හැම වතාවේම එද්දී අත-පය හොයා ගන්න වෙන්නේ තියන තුවාල හොඳ වුණාම. ඒ තරමට තුවාල. හැමදාම ඇඟ පත හෝදා ගත්තාට පස්සේ, රෑට අයියාව අල්ලගන්න තාත්තා එයාව සිමෙන්ති පොළවේ වාඩි කරවා ගෙන චිමිනි ලාම්පුවත්, බෙහෙත් පෙට්ටියත් කිට්ටු කර ගන්නවා. අපිත් ලාම්පුව වටේ ඉඳ ගන්නවා. තාත්තා තුවාල වලට බෙහෙත් දාන හැටි බලන්න. 


               මුලින් සර්ජිකල් ස්ප්‍රීට් දාලා තුවාල සුද්ද කරලා, මොනවදෝ ක්‍රීම් එකක් ගාලා ගෝස් කෑල්ලක් තියලා ප්ලාස්ටර් දානවා. ඔය වැඩේට සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. මොකද එකක් එයාට තියන තුවාල ප්‍රමාණය, අනෙක කෑ ගැහිල්ලයි, දැඟලිල්ලයි නිසා වන ප්‍රමාදය.


            අපටත් හරි ජොලි ඔය වැඩේ බලා ගෙන ඉන්න. අපිත් සපෝට් එක දෙනවා දඟලන්නේ නැතිව ඉන්න අත්  කකුල් අල්ලා ගෙන අයියාගේ.අපි කෙල්ලෝ තුන් දෙනා අතරේ ඉන්න එකම කොල්ලා වෙච්චි අයියා දවල් දවසේ සෙල්ලම් කරද්දී එයා පොර නේ,ඉතින් තුවාල වල බෙහෙත් දාන වෙලාවට අපි ඒ වාඩුව ගන්නවා.


             


           
         ඒ දවස් වල අපේ ස්කොලේ ඉවර වුණාම තාත්තා ෆුට් සයිකලෙන් එනවා අපිව ගන්න. එයාගේ ඔෆිස් එකට තමයි ඊට පස්සේ. දවල් කෑමට එයා යද්දී අපිව ගෙදර අරන් යනවා.ඔය වගේ දවසක තාත්තා එන්න පරක්කු වෙලා, නංගි සෑහෙන්න වෙලාවක් ගේට්ටුව ළඟ බලා ඉඳලා.(නංගි ඒ වෙද්දී එක වසරේ.) ඉතින් පරක්කු වෙලා තාත්තා ආවාම එයා තාත්තාට කියලා තියෙන්නේ, " දැන් මාව බයිසිකයේ තියාගෙන තල්ලු කරන් යන්න " කියලා. අපේ ස්කොලේ ඉඳන් තාත්තාගේ ඔෆිස් එකට යන්න ලොකු කන්දක් තරණය කරන්න ඕන.වෙනදාට තාත්තා එක්ක පයින් ඒ කන්ද පහු කරන නංගි, පරක්කු වෙලා එයාව ගන්න ආපු තාත්තට දුන්න දඬුවම තමයි ඒ.අනේ ඉතින් තාත්තාත් ඒ විධියට එයාව එක්ක ගෙන ගිහින්.හවස ගෙදර ඇවිත් තමයි අම්මාට කියලා තියෙන්නේ.



            නිවාඩු කාලෙක අපි හතර දෙනාව අල්ලා ගෙන පුංචි අම්මා වෙල් යාය ලඟට ආවා දවසක් පින්තූර ගන්න ඕන කියලා.ඒ දවස් වල හරිම ජනප්‍රියයි "ආදරයයි-කරුණාවයි"කියලා පොඩි ළමයි දෙන්නෙක් දෙන්නාට දෙන්නාගේ කර වටේ අත් දෙක දා ගෙන හිනා වෙවී ඉන්න කැලැන්ඩරේ. මට මතක විධියට ඇන්කර්-ලක්ස්ප්‍රේ හෝ නෙස්ප්‍රේ කිරි පිටි වලින් ගහපු කැලැන්ඩර් එකක්.මටත්, නිමාලිටත් ඕන වුණා ඔය විධියට ඉන්න. ඉතින් අපි දෙන්නා ඒ වගේ කරට අත දාගෙන පින්තූර ගත්තා. අපොයි...... පිස්සියෝ වගේ. හුළඟට කොණ්ඩ අවුල් වෙලා ඒ මදිවාට අපේ දත් හැලිලා...කැලැන්ඩරේ වගේ ලස්සන නෑ කියලා හිත හිතා දුක් වුණා. මොනවා කරන්නද?

   ලියන්න දේවල් තිබුණත් තව ලියන්න බෑ වගේ. කාලෙකින් ලියන්න ගත්ත නිසා වෙන්න ඇති,ටිකක් කම්මැලි වෙලා. ආයේ පස්සේ වෙලාවක ඔය වගේ පල හෑලි ටිකක් ලියන්නම්කෝ.....එතෙක් නවතින්නම්.

5 comments:

  1. ගමේ ජීවිතේ කොච්චර ලස්සණ ද? සරල ද? කල් යනකොට තරම් ඒ ලස්සණ අපේ හිතට දැනෙන්නේ. ගම ගැන විස්තර කිව්වට ගම කොහෙද කියලා කිව්වේ නෑනේ. මට පෙන්නේ නං උඩරට පැත්තේ වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ගොඩ වෙන්න හිතුවාට...

      Delete
  2. මේකේ පටන් ගැන්මත් එක්කම මගේ හිතට ආවේ මගේම නොවන ආදරයක් තිබුණා කියන සිංදුව ලියපු පිස්සු අමිල තේනුවර කියන කොල්ලව. හැමෝම හිතුවේ ඒකාට පිස්සු කියලා. ඒත් උගේ හැකියාව ඌ පෙන්නුවේ පිස්සන්ගෙන් ඈත් වෙලා ගිහින් මේ වගේ නිර්මාණයක් තුළින්.
    මේ සත්‍ය කතාවක පසුබිමක්.. සියල්ල පැවසිය නොහැකියි එය පුද්ගල චරිත ඝාතනයක් වන බැවින්

    ReplyDelete
    Replies
    1. මගේම කියලා බ්ලොග් එකක් තිබුණා කියලා ලියපු නිසාද ඒ විධියට මතකයට ආවේ......කොහොම වුණත් මේ පැත්තට ගොඩ වුණාට ස්තුතියි.

      Delete
  3. අනේ ධාරා සමා වෙන්න ඕන දාලා තියන ෆොටෝ වලට අනුව නම් උඩරට පැත්ත තමයි. ඒත්....අපේ ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කියන ප්‍රදේශයට අයත් පුංචි ගමක්. ගමේ නම "පහළගොඩ" මේ දවස් වල බොහෝ දෙනෙක් තංගල්ල දන්නවා නේ.ප්‍රාදේශීය සභාවේ සභාපති ගැන .................

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...